ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඊයේට (09දා) යෙදුණු ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පරිවාර ඇමැතිවරයා ලෙස පත් කර තිබූ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා පසෙකලා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අත්තනෝමතිකවම පරිවාර ඇමැතිවරයාගේ රාජකාරිය සියතට ගෙන තිබේ.

ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළේදී ඉන්දියානු අගමැතිවරයාගේ පරිවාර රාජකාරිය සඳහා සූදානම්ව සිටි සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා බලා සිටියදීම ඒ සඳහා ඉදිරිපත් වූ අග්‍රාමාත්‍යවරයා මෝදි මහතාගේ වාහනයේ නැඟී පරිවාර ඇමැති භූමිකාවේ නියැළෙමින් කටුනායක සිට කොළඹ දක්වා පැමිණ ඇත.

කොළඹ දක්වා පැමිණෙන ගමනේදී ඉන්දියානු අගමැතිවරයාගේ රථ පෙළට පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රථ පෙළ පැමිණ ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දක්වා පැමිණ ඇත්තේ ඊටද පසුපසින් බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. ඉන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති උත්සවයෙන් අනතුරුව කොටුව ජනාධිපති මන්දිරය දක්වාත්,

ජනපති මන්දිරයේ සිට ඉන්දියානු අගමැතිවරයා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට තර්ස්ටන් පාරේ පිහිටි ඉන්දියානු මන්දිරයට පැමිණි ගමනටත් පමණක් පරිවාර ඇමැති ධුර රාජකාරියේ නියැළෙන්නට සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාව ලැබී ඇත. ඉන් අනතුරුව ඉන්දියානු අගමැතිවරයා නැවත සිය රට බලා පිටත්වීමට ඉන්දියානු මන්දිරයේ සිට කටුනායක බලා යන ගමනට සජිත් ප්‍රේමදාස මහතා පසෙක සිටියදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පරිවාර රාජකාරිය සඳහා එක් වී තිබේ.

ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස මහතාට පවරා තිබූ පරිවාර රාජකාරිය හිතුමතේම තමන් සතු කර ගන්නට අගමැතිවරයා කටයුතු කර ඇත්තේ මේ දිනවල සිදුවෙමින් පවතින සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන නැඟී සිටීම පිළිබඳව ඇති වූ බිය හේතුකොටගෙන විය හැකි යැයි තතු දත් ආරංචිමාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here