ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඇතැම් කණ්ඩායම් විවිධ අදහස් පළ කර තිබෙනු දක්නට ලැබිණ. ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය අපට පැති කිහිපයකින් වැදගත්කමක් ගෙන තිබියදී ෆේස්බුක් කාඩ්බෝඩ් වීරයින්ට පෙනී ගොස් තිබුණේ එම සංචාරය අතරතුර පැවැති වර්ෂාව මධ්‍යයේ ඉන්දීය අගමැති මෝදි මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කුඩය අල්ලා සිටින අවස්ථාවය. එයද විවේචනය කරමින් ඔවුන් හුවා දක්වා තිබුණේ කුඩය අල්ලා ගෙන යාම මදිකමක් ලෙසය. මෙරට පමණක් නොව සාමාන්‍යයෙන් බලගතු රාජ්‍යවල රාජ්‍ය නායකයින් පවා හිතවත් රාජ්‍ය නායකයින් සමග කටයුතු කරද්දී වැසි අවස්ථාවකදී කුඩය අල්ලාගෙන යාම සාමාන්‍ය සිරිතය. එය හුදෙක් එම රාජ්‍ය තාන්ත්‍රිකභාවයක මිත්‍රශීලිභාවය මතු කරන අවස්ථාවකි.

ඒ කෙසේ වෙතත් පොලොවේ පය ගසා ජනතාවට සමග සිටින සරල නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරන්නේ රජ කෙනෙකු නොව රටේ මුල් පුරවැසියා ලෙසිනි. තවමත් ලිංමැඩි මානසිකත්වයකින් ඒකාධිපති රාජ්‍යත්වයක් මවාගෙන සිටින ලෝකයේ දියුණුව ගැන නොදන්නා සුළු පිරිසක් ගොඩනගන මෙවැනි කුහකත්වයෙන් යුතු කතා ගැන කියන්නට ඇත්තේ තමන්ගේ ගෝත්‍රික ගතිය ඉස්මතුවීමෙන් තමන් කවුද යන්න වටහා ගත හැකි බවයි.

1985 ජුනි 11 දින එවකට ඉන්දියානු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ඇමරිකාවේ වොෂින්ටනයේ නිල සංචාරයක නිරතවී සිටි අතරතුර ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් මහතා විසින්ම රජිව් ගාන්ධි අගමැතිවරයා වෙත කුඩය අල්ලාගෙන ගමන් කළේය. ඒ තමා තුල ඇති අන්‍යොන්‍ය ගරුත්වය, දයාව හා මිත්‍රත්වය ප්‍රකාශ කිරීමටය. එය කිසිදිනක ඇමරිකානුවන්ට ගැටළුවක් නොවීය. අද වැනි වැසි දිනයක නිල සංචාරයකට දිවයිනට පැමිණ සිටින ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කුඩය අල්ලා ගෙන යාම ලාංකිකයන්ට මෙතරම් ගැටලුකාරීවුයේ කෙසේද යන්න ප්‍රශ්නාර්ථයකි.

කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ආරාධනය පරිදි දිවයිනට පැමිණි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය විශේෂයෙන්ම වැදගත් වූයේ පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු අපේ රටේ ආරක්ෂාව ගැන ජාත්‍යන්තරයේ ඇතිව තිබූ බිය පහව යාමයි.

එමෙන්ම පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් අනතුරුව ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදේශීය රාජ්‍ය නායකයා වන්නේ ද ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා යි. දෙවැනි කාරණය ආරක්ෂාව, ආර්ථික වශයෙන් වැදගත් තීන්දු තීරණවලට රාජ්‍ය නායකයින් දෙපලම එකඟතාවයකට පැමිණීමයි. දෙවන වරටත් ඉන්දීය අග‍්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතා ඉන් අනතුරුව පළමු රාජ්‍ය තාන්ත්‍රික හමුවට එක් වූයේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ වන අතර එම හමුවේ දී ජනාධිපතිවරයා විසින් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වෙත මෙම නිල ආරාධනය පිළිගන්වනු ලැබීය. ඉතා සුහදශීලීව එම ආරාධනය පිලිගෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයට එක්විය.

ත‍්‍රස්ත ප‍්‍රහාරයකට ලක්ව රට තුළ නොසන්සුකාරී තත්ත්වයක් මතුව ඇති අවස්ථාවක ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණ ලෝකයට ලබාදුන් පණිවිඩය ඉතා විශිෂ්ඨය. එය මෙරට සංචාරක කර්මාන්තය යළි සක්‍රීය කිරීමට මහා පිටුවහලක් වනු නොවනුමානය. අසල්වාසී මිත‍්‍ර රාජ්‍යයන් ලෙස ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ශක්තිමත් සහ විශ්වසනීය සබඳතාවය ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයෙන් වඩාත් පිළිබිඹු වේ. එමෙන්ම ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙම සංචාරය ශ‍්‍රී ලංකාවේ ආර්ථික, වෙළෙඳ මෙන්ම සංචාරක ක්ෂේත‍්‍රවලට වඩා ඵලදායී වනු ඇත. සහෝදර සහ මිත‍්‍ර රාජ්‍යයන් වල යුතුකම වන්නේ අසීරු අවස්ථාවල අත නොහැර එකිනෙකාට උපකාර කර ගැනීම පසක් කරගනිමින් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය ප්‍රබල සාධයක් වී තිබිණි. ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය ඉන්දියාව ශ‍්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය ඉදිරියට ද එලෙසම තිබෙන බව ඔප්පු කර පෙන්වූ අවස්ථාවකි.

විශේෂයෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නංවාගැනීම සහ කලාපීය ආරක්ෂාව මෙන්ම සාමය සහ ස්ථාවරත්වය පිළිබඳව ද නායක දෙපළ අතර සාකච්ඡා වී තිබේ. ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙරටම ත‍්‍රස්ත ප‍්‍රහාරවලට ලක් වූ රටවල් වන අතර කුමන අන්දමේ හෝ ත‍්‍රස්ත ප‍්‍රහාරයක් තරයේ හෙළා දකින බව අවධාරණය කළ එම නායකයෝ ත‍්‍රස්තවාදය දුරලීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව වැඩිදියුණු කළයුතු බවට ද එහිදී එකඟ වී තිබේ. ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ගැඹුරු මිත‍්‍රත්වය පදනම් වී ඇත්තේ අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය ගරුත්වය සහ එකිනෙකාට සහය දැක්වීමේ ප‍්‍රතිපත්තිය මතයි. දෙරට අතර එම සුවිශේෂී සහ සබඳතාවය ඉදිරියේ දී තවදුරටත් ශක්තිමත් කර ගැනීමටද නායකයෝ එකඟතාව පළ කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ කළ සංචාරයෙන් අනතුරුව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ සිදුකළ එක්දින නිල සංචාරය කෙටි එහෙත් අතිශයෙන්ම ප්‍රතිඵලදායක සංචාරයක් බවයි. ඉන්දියානුවන්ගේ හදවත් තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් ඇති බවත් ශ්‍රී ලංකාවේ සිටින තම සහෝදර සහෝදරියන් වෙනුවෙන් සෑමදාම ඉන්දියාව සිටින බවත් ශ්‍රී ලංකා ජාතියේ වර්ධනය සඳහා උදව් කරන බවත් ඔහු සඳහන් කර තිබිණි. ශ්‍රී ලංකාවෙන් ලැබුණ ආගන්තුක සත්කාරක්තවයට ස්තූතිය ප්‍රකාශ කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකා සංචාරය ඉතා වැදගත් එකක් බව සඳහන් කරමිනි.

එනිසා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට යම් පසුබෑමකට පත්වුවද ඉන්දීය අගමැතිවරයාගේ මෙරට සංචාරය ජාත්‍යන්තරයට දුන් පණිවිඩයෙන් යලිත් ලංකාව ජාත්‍යන්තරය තුල ආරක්ෂාව තහවුරු කර ගත් රටක් ලෙස ගොඩනැගීමට හැකියාව පවතී. එය දැනටම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ මිත්‍රශීලිභාවය මනාව ඔප්පු කර පෙන්වා අවසන්ය.

ප්‍රභාත් මාතරගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here