සිරගෙවල් ද මිහිපිට අපායවල්ද මේ – ලොව දරුණුතම සිරගෙවල් මෙන්න

    0
    2169

    1. රිකර්ස් දූපත සිරකඳවුර – නිව් යෝර්ක්

    ඇමරිකාව කියන්නේ ගොඩක් රටවලට මානව හිමිකම් ගැන කියලා දෙන රටක් නේ. ඒත් ඇමරිකාවෙ මානව හිමිකම් කියන වචනෙවත් නොඇහෙන තැනක් තමයි රිකර්ස් දූපතේ සිරකඳවුර කියලා කියන්නේ. වසරක් හෝ ඊට අඩු කාලයකට හිරේට යවන පුද්ගලයෝ තමයි මේ සිර කඳවුරට එන්නේ. සිර කඳවුර තුළදී සමූහයකගේ අතවරයට මුහුණ දෙන්න වුනු සිරකරුවෝ අතිවිශාල සංඛ්‍යාවක් හමුවෙනවා. ඔවුන් සමහරකගේ අත් වල, කකුල් වල ඇට බිඳිලා, සමහරකගේ අභ්‍යන්තර තුවාල, සමහරකගේ හිසේ තුවාල දකින්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි කණගාටුදායකම කාරණය තමයි බොහොමයක් දෙනෙක්ගේ මානසික මට්ටම බින්දුවටම පිරිහිලා තියෙනවා මේ කඳවුරේ ඉන්දැද්දි. නිව් යෝර්ක් නගරයට කළු පැල්ලමක් එක් කරපු මේ මිහිපිට අපාය ළඟදීම වසා දමන්නට බලධාරීන් මේ වෙද්දි කටයුතු කරමින් ඉන්න බවයි සැලවෙන්නේ.

    2. සැබනේටා සිරකඳවුර – වෙනිසියුලාව

    වෙනිසියුලානු සිර කඳවුරු ලෝකයේ දරුණුතම සිර කඳවුරු ලෙස පිළිගැනෙනවා. විශේෂයෙන්ම මත් ද්‍රව්‍ය අධික ලෙස මේ ලතින් ඇමරිකානු රටවල සංසරණය වන නිසා ඒවා භාවිතා කරන්නන්, බෙදාහරින්නන්, මහා පරිමාණ වෙළෙන්දන්ගෙන් මේ සිර මැදිරි පිරී ගොස් තිබෙනවා. සැබනේටා සිරකඳවුරේ සිටින්නේ එයිනුත් දරුණුතම වර්ගයේ සිරකරුවන් කියලයි කියවෙන්නේ. 700 ක් සිටිය හැකි සිරකඳවුරේ 3700 ක් සිරකරුවන් රඳවලා තියෙනවලු. සිරකරුවන්ට හරියට පානීය ජලයවත් නැති සිරකඳවුරක් වන මෙහි ඉන්න බොහෝ සිරකරුවන් ජලය පානය කරන්නෙ වැසිකිලි වල ජල නල වලින් කියලයි කියවෙන්නේ. 2013 දී සිරකඳවුර තුල සිදුවුණ කැරැල්ලක් අතරතුර සිරකරුවන් 16 දෙනෙක් මියගිය පුවතකුත් වාර්තා වෙලා තියෙනවා.

    3. බැන් ක්වාන් සිරකඳවුර – තායිලන්තය

    බැංකොක් නගරයේ පිහිටා තිබෙන මේ සිරකඳවුර හැඳින්වෙන්නේ “බැංකොක් හිල්ටන්” කියන හාස්‍ය ආරූඪ නාමයෙනුයි. දැරිය නොහැකි සෙනග, මූල්‍ය ප්‍රතිපාදන නොමැති වීම සහ ඉතාමත්ම හිංසාදායක ආරක්ෂක ක්‍රමයන් නිසා මෙම සිර කඳවුර ලොව භයානකම සිරකඳවුරු අතරින් එකක් වී තිබෙනවා. සිර කඳවුරේ ඉන්න පුලුවන් 3500ක් උනාට දැනටමත් 8000කට වඩා පිරිසක් මේ කඳවුරේ ඉන්නවයි කියලයි කියන්නේ. ඒ විතරක් නෙමෙයි අඩු වතුර සැපයුම සහ අතිශය දුර්වල සනීපාරක්ෂක පහසුකම් වලට පින් සිද්ධ වෙන්න මේ සිරකඳවුරේ බොහෝ දෙනෙක් ලෙඩ රෝග වලට මුහුණ දෙනවා. ඔබ පුදුම වේවි මේ සිරකඳවුරේ දෙන්නෙ දවසකට එක කෑම වේලයි. ඒ සඳහා බත් සහ සුප් එකක් ඔවුන් ලබා දෙනවා.

    4. පෙටාක් දූපත සිරකඳවුර – රුසියාව

    රුසියාවේ වොලොග්ඩා කියන ප්‍රදේශයේ දූපතක තමයි මේ සිර කඳවුර තියෙන්නේ. මේකෙ රඳවලා ඉන්නේ රුසියාවේ ඉන්න දරුණුතම අපරාධකාරයෝ වීම නිසා මෙහි ආරක්ෂාව ඉතා තර කරලා තියෙනවා. සිර කඳවුරෙන් පැන යාමට කරන තැත් කිරීම් වලදී සිරකරුවන්ට දෙවරක් නොසිතා වෙඩි තියලා මරලා දාන්න මේ සිරකඳවුරේ බලධාරීන්ට උපදෙස් ලැබිලා තියෙනවා. ඒ වගේම පැය විසි හතරෙන් පැය විසි දෙකක්ම මේ සිරකරුවන් ඉන්නේ සිරකුටියකට කොටු වෙලයි. වසරකට මේ අයට මුණ ගැහෙන්න දෙන්නේ අමුත්තන් දෙදෙනෙක්ට පමණයි. ඒත් හැමදාම නොවේ. වසරකටම දෙවරක්. ඒ වගේම ස්ත්‍රී දූෂණ, අපචාර බහුලවම සිදු වන සිර කඳවුරක් විදිහට මෙය හැඳින්වෙනවා.

    5. USP ෆ්ලෝරන්ස් ADMAX සිරකඳවුර – ඇමරිකාව

    කොලරාඩෝ ප්‍රාන්තයේ පිහිටා තිබෙන මේ සිර කඳවුර ඇමරිකාවේ දරුණුතම අපරාධකරුවන් රඳවා තැබීම සඳහා යොදාගන්නක්. මෙහි එක් කාමරයක එක් සිරකරුවෙක් බැගින් රැඳවෙනවා. දවසකට පැය 23ක් ම ඔහු එක සිර කුටියේ රැඳවෙනවා. සිර කඳවුරේ සිටියදී එළියේ සිටින කිසිම සිරකරුවෙක් නොපෙනීම තව තවත් සිරකරුවාගේ මානසික තත්ත්වය බිඳ හෙලනවා. දැඩි ආරක්ෂාවක් සිර කඳවුරට යොදා තිබෙනවා වගේම සිරකරුවන්ව මෙලෙස මානසිකව බන්ධනයට ලක් කිරීම මගින් ඔවුන්ව හික්මෙනු ඇතැයි පාලනාධිකාරිය විශ්වාස කරනවා.

    6. CAMP 22 – උතුරු කොරියාව

    දේශපාලන සිරකරුවන් සහ අපරාධකරුවන් රඳවා සිටින මේ සිර කඳවුර ඉතා ශෝක දායක පුවත් රැසක් ලෝකයට දායාද කල සිර කඳවුරක්. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අහිමි උතුරු කොරියාවේ වැසියන් 50,000ක් පමණ මෙහි සිරගත කොට තිබෙනවා. විශේෂයෙන්ම මෙහි සිරගත කරන්නේ වැරැද්ද කරන පුද්ගලයන් පමණක් නොවේ. අපරාධ කිරීම සඳහා වන මනස පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන බව සිතන උතුරු කොරියානු බලධාරීන් වැරැද්ද කරන පුද්ගලයාට සම්බන්ධ සියලුම ඥාතීන් සිරගත කරන බව කියවෙනවා. එපමණක් නොවේ, සිර කඳවුරේ සිටින සිරකරුවන් විවිධ ඖෂධ වර්ග, ආයුධ වර්ග අත්හදා බැලීම් වලට යොදාගන්නා බවටත් කෑම්ප් 22 හට චෝදනා එල්ලවනවා.

    7. කරන්දිරු සිර කඳවුර – බ්‍රසීලය

    1956 ඇරඹුනු මෙම සිර කඳවුර 2002 දී එරට ජනතාවගේ දැඩි විරෝධය සහ ලෝක ප්‍රජාවගේ විරෝධය මත වසා දමනු ලැබුවා. සනීපාරක්ෂක සහ සෞඛ්‍ය පහසුකම් ඉතාම අවම මට්ටමක පැවතුණ මේ සිරකඳවුරේ සිටි 8000ක පමණ සිරකරුවන්ගෙන් වැඩි දෙනෙක් එච්. අයි. වී ආසාදිතයින් බව කියැවෙනවා. 1992දී මේ සිර කඳවුරේ ඇතිවූ කැරැල්ලක් මැඩ පැවැත්වීමේදී සිරකරුවන් 111 දෙනෙක් ඝාතනයටත් ලක්වී තිබෙනවා. එය ක්‍රියාත්මක වූ වසර 46 තුළ එය තුළ මරණ 1300ක් වාර්තා වූවා යැයි කිවුවොත් ඔබ පුදුම වේවි.. කෙසේ උනත් මේ මරණ වලට හේතු ගැන ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න බ්‍රසීල රජයනම් අපොහොසත් වුණා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here