එජාපයේ නායකත්ව ගැටුම උග්‍ර වෙයි ! සජිත්ට නායකත්ව දෙන්නැයි එජාප ප්‍රබලයින්ගෙන් රනිල්ට බලපෑම්

    0
    73

    රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධූරය අහිමි වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි.

    හිටපු අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාපයේ ප්‍රබලයින් රැසක් මේවන විටත් රැඳී සිටින්නේ අරලියගහ මන්දිර පරිශ්‍රයේය. එජාප ප්‍රබලයින් සේම එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවට ලක්ව ඇත්තේ එජාප නායකත්වය වෙනස් කර අලුත් ගමනක් යාමට දැන් හෝ දැඩි තීරණයක් ගත යුතු බවයි.

    දිගින් දිගටම එජාප ප්‍රබලයින් සමඟ පැවැති සාකච්ඡා අනුව මේවන විට එජාපය තුළ පිල් බෙදීමක් ලක්ව ඇති අතර ඒ අනුව එජාපයේ ස්ථීර නායක රනිල් වික්‍රමසිංහට හිතවත් පිලත්, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට හිතවත් පිලත් ලෙසත් දෙපිලකට බෙදී ඇතැයි වාර්තා වේ.

    ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත්කරන ලෙසට එජාපයේ විශාල මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි ලෙස ප්‍රකාශ කිරීමත් සමග රනිල් – සජිත් ගැටුමත් උග්‍ර අතට හැරී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පැවසී ය.

    මේවන විට ආණ්ඩුව අහිමි වීමේ තත්වයට එජාපයට පත්වීමට සිදුවූයේ රනිල් වික්‍රමසිංහ මහතා නිසා බවත් මෙම තත්ත්වයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වරදක් නොමැති බවත් සජිත් පාර්ශවය ප්‍රකාශ කර තිබේ.

    එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය අහිමිවීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 50 දෙනෙකු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්කර එජාපය බේරාගන්නා ලෙස නායකත්වයෙන් ඉල්ලා තිබේ.

    එක්සත් ජාතික පක්ෂයට සහය ලබාදෙන සුළු ජාතික පක්ෂ මෙතෙක් සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකර නොමැති අතර ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයේ තවදුරටත් සිටිය යුතුය යන මතයේ සිටින බව දැනගන්නට තිබුණද එජාපයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් එජාප නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බවට දැඩි ලෙස ප්‍රකාශ කර තිබේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here