ජනපති ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම්කරන්නේ ඇයි?

    0
    5790

    මුළු මහත් ලෝක බෞද්ධ ජනතාවගේ ජීවමාන බුදුපියාණන් බඳු, බුද්ධ දේශිතය එනම් ත්‍රිපිටක ධර්මය මහරහතුන් වහන්සේලා විසින් මුඛපරම්පරාවෙන් රැකගෙන පැමිණ මුල් වරට (බු.ව. 455) වළගම්බා රජ සමයේ ශ්‍රී ලංකාවේ අළු විහාරයේදී ග්‍රන්ථාරූඪ විය. එනිසා ශ්‍රී ලාංකිකයින් ලෙස අපට එම මුල් ත්‍රිපිටකය ආරක්ෂා කිරීමේ එතිහාසික වහකීමක් පැවරේ. එලෙසම ශ්‍රී ලංකාවේ අප සතු පාලි ත්‍රිපිටකය මේ වන විට ලෝකයේ සිදුවී ඇති ශ්‍රාස්තිය පර්යේෂණ වලට අනූව මුල් බුදුදහම විශ්වසනීය ලෙස නියෝජනය කරන්නක් බවට සලකනු ලබයි.

    නමුත් එදා ග්‍රන්ථාරූඪ කරන ලද ත්‍රිපිටකය එදා සිට මේ දක්වා කාලය තුල විවිධ අවභාවිතාවන්ට ලක්විණි.

    ත්‍රිපිටකාගත ධර්ම කරුණු සහ විශේෂ යෙදුම් කිසිම ශ්‍රාස්තිය පදනමකින් තොරව විකෘති අර්ථ ගැන්වීම් අද බහුලව දක්නට ඇත. පාලි භාෂාව පිළිබඳව හෝ ත්‍රිපිටක ධර්ම න්‍යාය පිළිබඳව විධිමත් අධ්‍යාපනයක් නොලබා තමන්ට හිතුමතේට දෙන අර්ථකතන වලින් ත්‍රිපිටකයට සහ බුද්ධ දේශිතයට සහ ශ්‍රාවකයින්ට වන හානිය කියා නිමකළ නොහැක.

    වර්තමානයේ එක් එක් සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවි සහ වෙනත් මාධ්‍ය භාවිතා කරමින් ඇතැමුන් කරගෙන යන ත්‍රිපිටක සංස්කරණද අසන්නට හා දකින්නට ලැබේ. කථිකත්වයට දක්ෂ වූ ඔවුන් තම මතය ත්‍රිපිටකයේ කරුණු ලෙස හුවා දක්වයි. මෙය ත්‍රිපිටකයේ අමු අමුවේ විකෘති කිරීමකි.

    පෙර රජ දවසේ මෙසේ ත්‍රිපිටකය වැරදි ලෙස ප්‍රචාරය කල භික්ෂුන්ට දඬුවම් පවා ලබා දී තිබෙන බව මහා වංශයේ සඳහන් වෙයි.

    තවද වාණිජ සහ පටු අරමුණු නිසා යම්යම් ආයතන සහ යම් යම් කණ්ඩායම් ත්‍රිපිටකය විකෘති ලෙස මුද්‍රණය කර අලෙවි කිරීම සහ බෙදා හැරීම් බහුලව වාර්තා වේ. එහිදී තිපිටකයේ අඩංගු කරණු වැරදි ලෙස මුද්‍රණය කිරීම සහ අඩුවෙන් මුද්‍රණය කිරීම බහුලව දක්නට ලැබේ.

    එහෙයින් දැනට තිබෙන තත්වය අනූව ථෙරවාදී බුදු දහමේන් පරිපූර්ණ ශ්‍රී ලාංකික උරුමයක් වූ ත්‍රිපිටකය රජයේ අවසරයකින් තොරව පිටපත් කිරීම, මුද්‍රණය කිරීම වහා නැවතිය යුතුය. එසේ කරන්නන්ට දඬුවම් පැමිණවීමට නීතිමය කටයුතු සකස් කර මුළු මහත් ලෝක බෞද්ධ ජනතාව වෙනුවෙන් එය තව වසර සිය දහසකට ආරක්ෂා කල යුතුව ඇත.

    2019 ජනවාරි මස 05 වන දින මාතලේ අලුවිහාරයේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් විසින් ඉටු කරන්නේ එම පුණ්‍ය කටයුත්ත බව ශ්‍රී ලාංකිකයින් ලෙස ආඩම්බරයෙන් කිව හැක.

    එදා මෙදා කාලය තුල සියළු නායකයින් බුදුදහමේ ආරක්ෂාවට තාවකාලික පිළියම් යෙදුවද කිසිඳු රාජ්‍ය නායකයෙකුගෙන් මෙවැන්නක් ඉටු නොවීය. ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කර එහි පූර්ණ අයිතිය බුද්ධ සාසන අමාත්‍යාංශයට පවරා ගැනීමෙන් ත්‍රිපිටකයට නීත්‍යානුකූල භාවයක් ලැබී එය රාජ්‍ය රැකවරණය යටතේ සුරක්ෂිත වනු ඇත.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here